සිතුවිල්ලක නවාතැන

Friday, December 3, 2010

අපේ ආදරේ ඔයාට මදි උනාද???


**අම්මිගෙයි තාත්තිගෙයි මුළු ලෝකෙම වෙලා, හැමෝගෙම ආදරේ අරන් මේ ලෝකෙට ආපු දවසේ ඔයාට ආදරේ කරන අය මොනතරම් සතුටු වෙන්න ඇතිද?හුරතලේට කතා කරද්දි පුන්චි පුන්චි දඟ වැඩ කරද්දි ඔයාට තිබුන ආදරේ තවත් වැඩි වුණා පුන්චි පුතේ...කවදාවත් ඔයාව නොදැක්කත්, ඔයාගේ හුරතල් කටහඬට මම මොනතරම් ආදරේ කලාද?ඔයත් එක්ක කතා කරන හැම වෙලාවෙම ඔයා වැඩිපුරම කියන්නේ Good Night කියලා.ඒ කිවුවේ ඔයා ඉක්මනින්ම අපෙන් ඈත් වෙලා හැමදාටම නිදියන්න යනවා කියන එකද?අම්මිටයි තාත්තිටයි තුරුල් වෙලා නිදා ගත්ත ඔයා අද කොහොමද තනියම නිදියන්නේ පුන්චි බබෝ...හැමෝගෙම ආදරේ අරන් ආපු ඔයා අද හැමෝවම අඬවලා ඒ ආදරෙත් අරන් හොරෙන්ම ගියේ අපේ ආදරේ ඔයාට මදි උනාද පුන්චි පුතේ....හොරෙන් අරන් ගිය අපේ ආදරෙත් අරන් ඉක්මනින්ම ආයෙත් අපේම කෙනෙක් වෙලා එනකන් ඔයාට ආදරේ කරන හැමෝම මග බලගෙන ඉන්නවා පුතේ............**

Wednesday, July 28, 2010

මා හට වරම් දෙන්න...


මා හඳ විල මැද
පිබිදෙන නෙළුමට
සුවඳ වී නුඹ
දැවටෙන්න මා ලඟම
සුදු නෙළුම් මලක් මෙන්
පිවිතුරු ඔය සිත ලඟ
නිරතුරුව දැවටෙන්න
මා හට වරම් දෙන්න

සිත හඬා වැටෙයි
ගත විඩා ගනියි
නො අසා ඔය හඬ
නොදැක ඔය නෙතු
හෙට අප හමු වන විට
ඔය නෙතු අග රඳවා
රහසින් පවසන
සෙනෙහස මට දෙන්න

Saturday, July 17, 2010

සිහිනයෙන් ඔබෙ රුව මවා ගමි...


සඳක් සේ නුඹ පායලා විත්
සිත් අහස් කුස රජ වෙලා

පාළු වී ගිය අඳුරු හිස්තැන්
සෙනෙහසින් නුඹ එළි කලා

වළාකුලකට සැඟවුණා නුඹ
නෙතු අගට කඳුලක් තියා

සදාකල් මම ආදරේ යැයි
කියූ ඔබ ඇයි ගොළු වෙලා

මගෙ පැතූම් පොදි සුණු විසුණු කර
ඔබ ගිහින් අද මා දමා

මලානික ‍රැ අඳුර අතරින්
පිණි වැටෙයි මුළු රෑ පුරා

සිහිනයෙන් ඔබෙ රුව මවා ගමි
හැබැහින් නො එනා නිසා

Saturday, July 10, 2010

නුඹ සැමදා මගෙ වේ නම්...


හිරු කුමරුන් නුඹ වේ නම්
නුඹ විහිදන කිරණ මමයි

මනරම් සඳ නුඹ වේ නම්
ලඟම ඉන්න තරුව මමයි

අරුණෝදය නුඹ වේ නම්
ආ වඩනා තුෂර මමයි

විසල් අහස නුඹ වේ නම්
නුඹ සනසන සුළඟ මමයි

පොළෝ තලය නුඹ වේ නම්
තනි රකිනා වැල්ල මමයි

වැහි තලාව නුඹ වේ නම්
නුඹ හෙළනා වැස්ස මමයි

නුඹ කවි පද වැල් වේ නම්
පද සරසන තනුව මමයි

නුඹ සැමදා මගෙ වේ නම්
නුඹට ලැබැඳි සොඳුරි මමයි

Tuesday, June 29, 2010

ඇවිත් යන්න...


නිල් ඉඳුවර නෙත් පොකුණේ
නිල ඉහරෙන්නට කලියෙන්
වඩින්න සිනහවත් අරන්
හද අරණට ඇසිල්ලකින්

අහස් පියන් මැද හිනහෙන
සඳ සැඟවෙන්නට කලියෙන්
වඩින්න තරු එළියක් වී
සිත් අහසට ඇසිල්ලකින්

හද වදුලේ පිපුණු කුසුම්
එකිනෙක පරවෙන්න කලින්
වඩින්න හිරු එළියක් වී
හද වදුලට ඇසිල්ලකින්

වැසි නොවැ‍ටුණු සිත් බිම්කඩ
ගිනිගෙන අළු වෙන්න කලින්
ඇවිත් යන්න වැස්සක් වී
සිත් කතරට ඇසිල්ලකින්

Monday, June 28, 2010

ඔබගෙම වන්නට ආසයි...


මලක දැවටි සුවඳක් සේ
සුළඟ ‍රැදි සිසිලසක් සේ
ස‍ඳෙන් ගලන එළියක් සේ
ඔබ ලඟ ඉන්නට ආසයි

නෙතට උරුම කඳුළැලි සේ
මුවඟ නැගෙන හස‍රැලි සේ
සිතෙහි ‍රැදෙන ගීතයක් සේ
ඔබගෙම වන්නට ආසයි

අඳුරු ‍රැයෙන් පසු උදෑසනක් සේ
ගිම්හානෙන් පසු වස්සානය සේ
අමාවකින් පසු පසළොස්වක සේ
ලඟින් ඉන්නම් සෙවණැල්ල සේ

Wednesday, June 23, 2010

නුඹයි මගේ ආදරේ...


නුඹ මා ලග නැති විට
සිහි කරමි මම නුඹව
වසාගෙන නෙතු පියන්
එසැනින් ඔබ එයි මා ලඟට
සිහිනයක් නොව සැබෑවකි
අපේ ආදරණීය සෙනෙහස

නුඹයි මගේ ආදරේ
පොළෝ තල කෙළවරේ
සිතිජ ඉම අනන්තේ
සිත සෙවූ රුව දු‍ටුවේ
නුඹයි මගේ ආදරේ